“පාන් කෑමට වුවමනා වෙනවා වගේ, ආගමේ පැවැත්මට මරණය ඕන වෙනවා”

0
85

‘දැන් සතියකුත් ගෙවිලා ඉවරයිනේ. වටින කියන කිසිමදෙයක් ඉතුරුවෙලා නැතුවත් ඇතිනේ. ඉතිං වාට්ටු අංක තුනේ අපි අලුත් සැලැස්මක් ගැහුවා. උඹලගේ ගෑණු අපි ළගට අරන් වරෙල්ලා. ගෑණු වෙනුවෙන් අපි කෑම දෙනවා.‘
කෑම තොග පිටින් එක්කාසු කරගෙන අනික් වාට්ටු පුරා තමන්ගේ අණසක පතුරුවාගෙන ඉන්න නායකයා එහෙම නිවේදනයක් කරනවා. අනික් වාට්ටු වල මිනිස්සු මේ බලවන්තයගේ කතාවට යටත්වේවිද ?

‘දවස තුනකින් කාලා නෑ. අපි දැන් මොනා කරන්නද ?.‘ මේඅඩන්තේට්ටම් ඉවසන්න බැරි තැන ඩොක්ටර්ගේ නෝනා එළියේ ඉන්නේ සිකියුරිටිකාරයින්ට කතාකරනවා. ‘අපි ළග තියෙන ඔක්කොම කෑම දුන්නා. කෑම බෙදාගන්න එක උඹලගේ ප්‍රශ්නයක්‘. බලසම්පන්න අවි අතේ දරාගෙන වීදුරු දොරෙන් එහා පැත්තේ ඉඳන් යකඩ කටා බෙරිහන් දෙනවා.

‘අමනයා‘, ‘ඒක අමතක කරලා දාන්න. උන්ගේ කතා යකාට ගියාවේ. අපි එහෙම කරන්නෑ.‘ ‘නෑ, මං යන්නෑ. නෑ. නෑ.‘ යන්තමින් උඩුකය වහගත්ත තරුණියක් කේන්තියෙන් පුපුරනවා.‘කවුරුත් ඔයාට යන්න කිව්වේ නෑ‘, ‘මොකක්‘ ‘ඔව්, මේ වාට්ටුවේ ඉන්න පිරිමින්ට ඔය කතාව අදාළ නැහැ. ඔයාට බැහැ අපිට බනින්න‘

‘මොනා වුණත් කතාවේ හොඳ තැනකට ආවා. කවුරුහරි ස්වෛච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්නම් ?

‘ස්වෛච්ඡාවෙන් ? මොනාද මේ කියවන්නේ‘ වාට්ටුවේ ඉන්න ගැහැණු එකිනෙකා කෑමොර දෙන්න පටන්ගන්නවා. ‘මගේ ජීවිත කාලෙටම අහපු ගොන්ම ගොන් කතාව‘‘ඔව්, ඇත්තටම ස්වෛච්ඡාවෙන් යන්න කැමති අය ඉන්නවා නම් ? එයාලා මේ වෙලාවේ කතා කතාකරන්න ඕන.‘

‘උඹලගේ මිනිස්සු එවන්න කියලා උන් කිව්වා නම් යන්න කැමති පිරිමි කීදෙනෙක් විතර මෙනත ඉන්නවද ?‘ පිරිමින්ගේ කතාව මැද්දට පනින තරුණියක් හඬ අවදිකරනවා. ‘නැහැ, ඒක එහෙම නෙවේ‘. ආයෙත් පිරිමි හඬක්. ‘නෑ ඒ කතා හරියන්නේ නැහැ. මෙතන ආවතේවකාරයෝ නැහැ‘ කතාව මැද්දට පනින තරමක් වැඩිහිටි පිරිමියෙක් තමන්ගේ කාණ්ඩේ මූණදීලා ඉන්න තත්ත්වය පැහැදිලි කරන්න උත්සහ ගන්නවා.

‘ඔව් ඉතිං, මෙතන එහෙම වේසකමෙ යන ගෑණුත් නැහැනේ ?‘ ආයෙත් ආවේශීලී තරුණියක් කට අරිනවා. ‘හ්ම්, ඒ කතාවෙ නම් තර්කයක් තියෙනවා‘ පිරිමියෙක්ගෙන් ප්‍රතිඋත්තරයක්. ‘ඩොක්ටර් මොකද කියන්නේ‘ මේ කතාබහ සමනය කරන්න හැකි එකම කෙනා දෙන උපදෙස අහන්න කට්ටිය බලාගෙන ඉන්නවා‘

‘ඇයි ? දැන් මං මේක ගැන විචාරයක් දෙන්න ඕනද ?, දෙවියනේ මගේ ගෑණිත් නොයා ඉන්නවා නම් මං කැමතියි. යනවද නැද්ද කියන එක තීරණය එයා කරයි. මගේ පිරිමිකමට කැළලක් වෙයි. ඉතිං, ඒ කියන පිරිමිකමට මෙතන වැදගැම්මක් තියෙනවද ?, එහෙම වැදගැම්මක් තිබ්බත් ඇති වැඩේ මොකක්ද ?, අපි ඔක්කොම මෙතන හාමතේ මැරිලා යනවා. පුංචි හරි නිර්භීතකමක් හිතේ කොණක හරි ඉතිරිවෙලා තියෙනවා නම් ඕනම කෙනෙක්ට තමන්ට කැමතිදෙයක් කරන්න පුළුවන්‘

‘මං යනවා‘ තරමක වියපත් ගැහැණියක් මුලින්ම හඬ අවදි කරනවා. ‘මාත් එයත් එක්ක යනවා. ‘ අන්ධයින් අතර ඉන්න ඇස් පෙනෙන එකම තැනැත්තිය, තවත් විදියකින් කිව්වොත් ඩොක්ටර්ගේ බිරිඳත් ඇයට එකතුවෙනවා. ‘මාත් එයත් එක්ක යනවා‘, ටික වෙලාවකින් දෙදෙනා හතර දෙනෙක් වෙනවා.

‘හරි, යන්න කැමති ඕනම කෙනෙක් යන්න. ඒත්, මගේ ගෑණි කොහෙවත් යන්නේ නැහැ. ගෑනියෙක්ගේ ගෞරවයට කිසිම මිලක් නියම කරන්න බෑ ‘, තමන්ගේ කාන්තාව සමීපයේ වැතිරිලා ඉන්න පිරිමියා එහෙම කියද්දි ඊට ප්‍රතිඋත්තර බඳින අදාළ කාන්තාව කියන්නේ, ‘මං අමුතු කෙනෙක් නෙමෙයි. එයාලා කරන ඕන දෙයක් මටත් කරන්න පුළුවන්‘, ‘නෑ ඔයා කරන්න ඕන මට ඕනදේ‘, පෙර කී පිරිමි හඬ ආඥා නිකුත් කරන්න ගන්නවා. ‘මට නියෝග දෙන්න එපා‘ ‘නෑ. ඒක හරිම පිළිකුල්‘ ආයෙත් පිරිමියා මතුවෙනවා. ‘හරි, උන් ඇවිල්ලා අපිව බලෙන් ඇදගෙන යනකල්, දැන් ඉඳන් ඔයා නොකා නොබී ඉන්න කොච්චර කාලයක් කියලා මෙහෙම හාමතේ බලාඉන්නද ?‘ සුපුරුදු ස්ත්‍රිය වේදනාවෙන් කතාකරනවා.

අවසානේ කෑම වෙනුවට ගෑණු නමදෙනෙක්ගේ කාණ්ඩයක් යනවා. හැබැයි, ආපහු එන්නේ හුස්ම වැටෙන ගැහැණු අටදෙනෙක් විතරයි. ‘කවුරුහරි ගිහිං කෑම ටික අරන් එන්න‘, නිරුවතින් ඉන්න මියගිය ගැහැණියකගේ දේහයත් අමාරුවෙන් උසුලාගෙන ඉරීගිය ඇඳුම් වලින් යන්තම් නිරුවත වසාගෙන ඉන්න ගෑණු අටදෙනාගේ කාණ්ඩේ ආපහු එනවා.

‘මොකද වුණේ, මොකද වුණේ‘ කියලා ඩොක්ටර් බෙරිහන් දෙද්දී කිසිවක්ම නොකියා නිරුවත් ගැහැණු සිරුර ඇඳකට වඩම්මන ඔවුන් ඒ සිරුරේ තැනින් තැන වෑහෙන ලේ සීරුවට පිහදාන්න පටන්ගන්නවා. දෑස් නොපෙනුණත් කුමක් හෝ අනතුරක සේයාවක් දැනිලා වගේ තමන්ගේ ගෑණිව යවන්න බැහැ කිව්ව තරුණයා බ්ලැන්කට්ටුවකින් සිය සිරුර වසාගන්නවා. අන්ධයින්ගේ රෝහලක් වූ කල මේ වග දෑස් නොපෙනෙනා මෙන් රඟපාන එකියකට හැර අන් කාට නම් පෙනෙන්නද ?

ඒ සංවාදයට පසුබිම් වෙන්නේ නොබෙල් සම්මානලාභී ලේඛකයකු වන Jose Saramago විසින් රචනා කෙරුණු Blindness (1995) කෘතිය හා Fernando Meirelles(2008) එනමින්ම නිර්මාණය කළ සිනමාපටයේ එන කතා පුවතයි. Blindness කෘතියේ කොතැනකවත් මේ සිදුවීම් පෙළගැසෙන රටක්, නගරයක් හෝ ඒ සිද්ධි වලට දායක වන කිසිදු චරිතයක නමක් සඳහන් වන්නේ නැහැ.

Blindness ගැන සටහන් කරන්නට පෙරාතුව Saramago සාහිත්‍යය, කලාව ගැන කළ ප්‍රකාශයක් මෙහිදී සිහිපත් කළයුතුමයි. ‘චිත්‍ර ශිල්පියා – චිත්‍ර අඳිනවා. සංගීතඥයා – සංගීත නිර්මාණ කරනවා. නවකතාකරුවා-නවකතා ලියනවා. මේ මොනදේ කළත් ඔවුන් කලාකරුවන් නොවී පුරවැසියෝ වෙන නිසා සමාජයට බලපෑමක් කරන්නට ඔවුන්ට සිද්ධවෙනවා. මොකද හැමදේම වෙනස් කරන්නට හැකිවෙන්නේ පුරවැසියන්ට වන නිසයි. කිසිම සමාජ හෝ දේශපාලන මැදිහත්වීමකින් තොරව මට මං ගැන හිතන්නට බැහැ. ඔව්, මම ලේඛකයෙක් වුණත් මං ජීවත්වෙන්නේ වෙනස් ලෝකෙක නෙමෙයි, මේ ලෝකයේමයි. මිනිස්සු මගේ පොත් කියවනවා නම්, ඔවුන් මං ගැන දන්නවා නම්, මට තව ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඉතිං, ඒකේ වාසිය ලැබෙන්නේ හැමෝටමයි.‘

Blindness කතාවේ තේමාව බවට පත්වෙන්නේ හිටිහැටියේ ඇතිවන අන්ධභාවයක් හේතුවෙන් රෝගාතුර වන පිරිසක් නගරයේ අනෙක් මිනිසුන්ගෙන් හුදකලා කළ අපිරිසිදු ගොඩනැගිලි සංකීර්ණයක් තුළ නොමැරී ජීවත්වීමට කරන අරගලයයි. සිය පටු ලෝකය තුළ දිවිගෙවන මේ මිනිස්සු කල්ලි ගැහෙන අන්දමත් බලය ඇත්තන් විසින් බලය නැත්තන්ව ආයුධ වලින් මර්දනය කරන අයුරුත් අපූරුවට විදහා දක්වනවා. අවසානයේදී කෑමවේල වෙනුවෙන් තමන් වැනිම වූ තවත් අන්ධයින් පිරිසකට සිය සිරුර දන් දෙන තත්ත්වයට පත්වන්නට මේ කාන්තාවන්ට සිද්ධවෙනවා. ඔව්, කතාවේ විදියට අවසානේ වෙන්න ඕන පීඩිතයින්ගේ නැගී සිටීමයි. එය එසේම සිදුවෙනවා.

සිය සැමියා සමීපයේ රැඳී සිටීමට ඇති වුවමනාව නිසාම මේ අන්ධයින් අතරට එක්වෙන ඇස් පෙනෙනා එකම ගැහැණිය ඒ හපන්කම කරන්නට සමත්වෙනවා. ඉතිං, දිගු කාලයකට පස්සේ අන්ධයින්ගේ ලෝකයේ දොරගුළු විවර කර ඉන් ඔබ්බට ගියවිට ඔවුන් දකින්නේ තමන් පමණක් නොවෙයි තමන් ජීවත්වුණු නගරයේ සියලුදෙනාම අන්ධයින් වී ඇති ආකාරයයි. මේ අඳුරු ශිෂ්ඨාචාරයෙන් මිදිලා ආලෝකමත් යුගයක් කරායන්නට මේ දිරිය ගැහැණියට හා කතාව අවසානයේදී සිය පෙනීම නැවත හිමිවන නම නොදන්නා තරුණයාට හැකිවේවිද යන ප්‍රශ්නය අප හමුවේ තබා Blindness කතාව අවසන්වනවා.

1998 දී නොබෙල් සම්මානය දිනාගන්නා Saramago ආන්දෝලනාත්මක කෘතීන් කිහිපයකම කතුවරයා වෙනවා.The Gospel According to Jesus Christ, Baltasarand Blimunda, Seeing හා Death with Interruptions ඒ අතරින් කිහිපයක්.

කතෝලික පල්ලිය, යුරෝපා සංගමය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද Saramagoගේ ලේඛනයන් තුළ විවේචනයට බඳුන් කරනවා. The Gospel According to Jesus Christ කෘතිය තුළ Saramago සඳහන් කරන්නේ ජෝසෆ්ගේ පුතු වන ජේසුස්, මේරිමග්දලේනා සමගින් ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූවා යන්නයි. පෘතුගීසි රජය මෙම කෘතිය යුරෝපා සාහිත්‍යය සම්මානයට ඉදිරිපත් කිරීම තහනම් කරන්නේ එය#කතෝලිකදහමට නිගාදෙන බව පවසමිනුයි. මේ සිද්ධිය හේතුවෙන් Saramago හා ඔහුගේ බිරිඳ ස්පාඤ්ඤ දූපතක් වූ Lanzarote වෙත යන අතර 2010 වසරේ ජූනි 18 වැනි දින සිය දිවියේ 87 වන කඩඉමේදී ඔහු මියයන තෙක්ම ජීවත්වූයේ ද මෙහිය.

Saramago හා Blindness කෘතිය ගැන තැබූ සටහන ඔහුගේ Death With Interruptions කෘතියේ තැබූ සටහනකින් නිමාකරන්නම්. ‘‘අප කැමති වුණත් නැතත්, හැම ආගමක්ම නොනැසී පවතින්නට හේතුවෙන්නේ මරණය. පාන් කෑමට වුවමනා වෙනවා වගේ, ආගමේ පැවැත්මට මරණය ඕන වෙනවා‘

වින්ද්‍යා ගම්ලත්

LEAVE A REPLY