ජාතිවාදී මැස්සන් සයිටම් විරෝධී වේදිකාව මත වැසීම

0
173

සයිටම් අරගලය විසින් සහ දකුණු ලංකාව තුල මතු වෙමින් තිබෙන වෙනත් එවැනි අරගල ගණනාවක් විසින් නව දේශපාලන තත්වයක් නිර්මාණය කෙරෙමින් තිබේ. සයිටම් සටනට සමගාමීව වරාය පෞද්ගලිකකරණය, එට්කා ගිවිසුම ආදී ආර්ථික තලයේ ප්‍රතිපත්තිමය තීරණ මුල් කරගත් ආතතීන් වර්ධනය වෙමින් ඇත. මීට දෙවසරකට පමණ එපිට දැකගත නොහැකි වූ මට්ටමකින් වෘත්තීය සමිති සටන්වල නැගී ඒමක් ද පසුගිය කාලයේ අපට දැකගැනීමට ලැබුණි. මේ සියල්ල විසින් නිර්මාණය කොට තිබෙන්නේ ‘අරගල බහුල සමයකි’.

මෙම අරගල බහුල සමය අප වටහා ගත යුත්තේ කෙසේද? මේ නව දේශපාලන වර්ධනයන් සමග ගැට ගැසී තිබෙන සංකීර්ණතා මොනවාද?

මෙම සටහනේ අරමුණ ඉහත කී ප්‍රශ්නය තරමක් සමීපව විමසා බැලීමය. මෙම අරගල බහුල සමයේ කැඩපත ලෙස අපට සයිටම් සටන ගත හැකි අතර එම නිසා මෙම නව දේශපාලන තත්වය විසින් ඇතිකොට තිබෙන සංකීර්ණතා හා ප්‍රතිවිරෝධතා පිලිබද සමීප නිරීක්ෂණයක් සදහා වූ හරස්කඩක් ලෙස සයිටම් අරගලය කෙරෙහි අපට වැඩි අවධානයක් යොමු කිරීමට පුලුවන.

සමාජ ආර්ථික අරගල

මේ මොහොතේ දකුණු ලංකාවේ මතු වී තිබෙන අරගල බහුලත්වයේ තිබෙන වැදගත් ලක්ෂණයක් වන්නේ මෙම පෙලගැසීම්වල අති බහුතරය සමාජ ආර්ථික ඉල්ලීම් මූලික කොට ගෙන ඇති වූ ඒවා වීමය. වඩාත් නිශ්චිත කොට කියනවා නම්, රනිල්-මෛත්‍රී රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන නව ලිබරල් ආර්ථික පිලිවෙත්වල ආනුෂංගයන් සමග මෙකී බොහෝ අරගල සෘජුව හෝ වක්‍රව සම්බන්ධය. සයිටම් අරගලය අධ්‍යාපනය වෙලද-භාණ්ඩකරනය සමග, ඛනිජ තෙල් සේවක වැඩවර්ජනය රාජ්‍ය සම්පත් පුද්ගලිකකරණය සමග සහ හම්බන්තොට වරාය ආශ්‍රිත ජන කැලඹීම විදේශ ප්‍රාග්ධනය සදහා හිලවු ලෙස පොදු ජනයාගේ වත්කම් අසන්තක කිරීම සමග ආදී ලෙස. නව ලිබරල් න්‍යාය පත්‍රය රාජපක්ෂ යුගයේ දී දේශප්‍රේමී දෘෂ්ටි වහන්තරාවකින් ආවරණය වී තිබුණු නමුත් මේ වනවිට එය ක්‍රියාත්මක වන්නේ එලිපිට විවෘතවය. ඊට සමගාමීව මෙම පිලිවෙත සමාජය තුල දැඩි බෙදීමකට තුඩු දී තිබෙන ආකාරය ද දැකගැනීමට පුලුවන. අධ්‍යාපන ප්‍රශ්නය නිදසුන් ලෙස ගතහොත් අධ්‍යාපනය ගැන වෙලදපොලවාදී අදහස සහ සුබසාධනවාදී අදහස අතර පැහැදිලි බෙදුම් ඉරක් මේ වනවිට සමාජය තුල දැකගැනීමට පුලුවන් අතර මේ බෙදුම් ඉර කේන්ද්‍ර කරගත තියුණු සටනක් උද්ගත වී තිබෙන ආකාරය ද දකින්නට තිබේ.

තත්වය එසේ නම්, එනම් රජයේ නව ලිබරල් සංවර්ධන ආකෘතියට එරෙහි සමාජ අරගල මෝදු වීමේ තත්වයක් නිර්මාණය වී තිබේ නම්, අප එය භාර ගත යුත්තේ කොහොමද? මේ සදහා ඉදිරිපත් විය හැකි එක් ප්‍රතිචාරයක් වන්නේ සාදරයෙන් එම තත්වය පිලිගැනීමය. එනම් මෙය අති මහත් වැදගත් උද්ගතයක් ලෙස ගනිමින් මෙකී සමාජ අරගල වඩාත් තියුණු කිරීම සදහා මැදිහත් වීමය. ඇත්ත වසයෙන්ම ලංකාවේ වාමාංශික අවකාශය තුල දැනට බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ ද එවැනි මනෝගතියකි. සයිටම් අරගලය සම්බන්ධව ගත් විට බොහෝ වාමගාමී කොටස් (කල යුතු ලෙසම) ඒ තුල මහත් උනන්දුවෙන් නියුක්තව සිටින අතර ආත්මිය ලෙස ඒ හා ආබද්ධව සිටිති.

කෙසේ වූවද මේ චිත්‍රයේ එක් පැත්තකි. ධෛර්යයේ සහ ආස්වාදයේ උත්කර්ෂය නිසා බැබලෙන දෑසකට ඇතැම් විට චිත්‍රයේ මේ අර්ධය දිස් වූවද ඒ සමග ගැට ගැසී තිබෙන වැදගත් අනෙක් අර්ධයක් නොපෙනී යා හැක. එම අනෙක් අර්ධය නම් අරගල බහුල තත්වය සහ රාජපක්ෂවාදය විසින් නියෝජිත සිංහල ජාතිවාදී කදවුර අතර ඇති වෙමින් තිබෙන සමීපත්වයයි. එනම් අරගල බහුලත්වය සිංහල ජාතිවාදයේ වාසියට ක්‍රියාත්මක විය හැකි දේශපාලන තත්වයක් බවට පත්වීමේ සම්භාවිතාවයයි. මෙම අප්‍රසන්න අනෙක් අර්ධය නොතකා අරගලය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම ස්වයංනාශක දේශපාලන වරදක් විය හැකි අතර එම නිසා ඒ පිලිබද බැරෑරුම් ලෙස සලකා බැලීම අවශ්‍ය වේ.

දේශපාලන සිතියම

මේ මොහොතේ ලංකාවේ දේශපාලනය පිලිබද කටු සටහනක් ගසන්නේ නම් එම කටු සටහනේ සංඝටක පහත පරිදිය.

I) රනිල්-මෛත්‍රී රජයට එරෙහි විරෝධාකල්ප සිංහල සමාජය තුල එන්න එන්න බලගතු වෙමින් තිබේ. මෙම විරෝධතා පෙරමුණු දෙකකින් එල්ල වේ. පලමුවැන්න, ඉහත කී ලෙස සමාජ ආර්ථික ප්‍රතිපත්ති තලයේ එය විසින් ක්‍රියාත්මක කරමින් තිබෙන විවෘත නව ලිබරල් වැඩපිලිවෙලෙහි බලපෑමට එරෙහි පෙරමුණයි. දෙවැන්න, දේශපාලන තලයේ දී ඊට ක්‍රියාවට නැගීමට බල කෙරී තිබෙන ජනවාර්ගික ප්‍රශ්නය හා සම්බන්ධ ඇතැම් ක්‍රියාමාර්ග කෙරෙහි තිබෙන අප්‍රසාදය මත පදනම් වූ පෙරමුණයි. අතුරුදහන් වූවන් පිලිබද කාර්යාලය පිහිටුවීම, යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආදී කරුනු මුල් කොට ගෙන විශාල ජාතිවාදී ප්‍රචාරක රැල්ලක් දියත් වී තිබෙන අතර අස්ගිරි මහනායකගේ සිට විමල් වීරවංශ දක්වා බහුවිධ තලවලින් නැගෙන තදබල විරෝධයක් ලෙස මෙය ප්‍රකාශයට පත් වී තිබේ.

II) මෙම පෙරමුණු දෙක තුල රජය හැසිරෙන්නේ දෙවිදිහකටය. පලමු පෙරමුණ තුල රජය ප්‍රහාරාත්මකවද, අචල ලෙස ද සිය ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටී. සයිටම් ප්‍රශ්නයෙන් පැහැදිලිව පෙනෙන විදිහට මොනම ජනතා විරෝධයක් ඉදිරියේ හෝ තමන්ගේ ආර්ථික චින්තනය සම්මුතිගත කිරීමට රජය සූදානම් නැත. අති විශාල විරෝධතා මධ්‍යයේ වුව එම පිලිවෙත සමග ඉදිරියට යාමට රජයට තිබෙන අධිෂ්ඨානයයි ඒ අත්තනෝමතික ආස්ථානයෙන් පැහැදිලි වන්නේ.

නමුත් ජනවාර්ගික ප්‍රශ්නය හා සබැදි දෙවන පෙරමුණ තුල රජයේ හැසිරීම චංචලය. දෙගිඩියාවෙන් යුක්තය. බලය බෙදීමේ දේශපාලන විසදුමක් ඇති කිරීම හෝ පශ්චාත් යුද යුක්තිය සම්බන්ධ කරුනු ගැන ආර්ථික පෙරමුණේ දී දක්නට ලැබෙන ආකාරයේ කැපවීමක් හෝ අදිටනක් අපට රජය පාර්ශවයෙන් දැකගත නොහැක. එපමණක් නොව, විජේදාස රාජපක්ෂ ආදී දේශපාලනඥයින් ඉදිරියට දැමීම මගින් සිංහල ජාතිවාදී බලවේගවලට කොල පැහැති සංඥා දැල්වීමට ද රජය ක්‍රියා කරනු දක්නට ලැබේ. ඇතැම් දේශපාලන ප්‍රතිසංස්කරණ කෙරෙහි රජයට තිබෙන යොමුව බොහෝ දුරට විදේශ ආධාර සහ ජාත්‍යන්තර තලයේ හොද නම පවත්වාගැනීම පිලිබද වන බොහොම උපයෝගිතාවාදී ප්‍රවේශයක් තුලින් පැන නැග තිබෙන්නක් මිස ජනවාර්ගික ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමේ අධිෂ්ඨානයක් තුලින් මතු වූවක් නොවීම මේ වෙනසට හේතුවයි.

III) දේශපාලන බල සිතියම තුල වාමාංශය ඉතාම දුර්වලය. බහුජන පදනමක් සහිත ජනතා විමුක්ති පෙරමුණ එක තැන පල්වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තිබෙන ජන සහය ඉතාම සුලු වූවකි. කෙසේ වූවද මෙම දුර්වලකම තරමක් සංකීර්ණ දුර්වලකමකි. අදහස් තලයේ දී සැලකිය යුතු බලපෑමක් කිරීමේ හැකියාව වාමාංශික අදහස්වලට ඇත. පෞද්ගලිකකරණ විරෝධය, අධ්‍යාපනයේ සම අයිතිය ආදී අදහස් වාමාංශය විසින් ඉදිරිපත් කල අදහස්ය. මේ අදහස්වලට සැලකිය යුතු පිලිගැනීමක් ජනයා අතර පවතී. එහෙත් අදහස් තලයේ තිබෙන මෙම පිලිගැනීම දේශපාලන බලයක් බවට පරිවර්තනය වී නැත.

ඉහත කී කටු සටහනේ රාමුව තුල දකුණේ ඇති වී තිබෙන අරගල බහුලත්වය ස්ථානගත කල විට අපට ලැබෙන පින්තූරය කවරාකාරද? මෙහි දී අවධානයට ලක්විය යුතු මූලික කරුණක් වන්නේ ආර්ථික පෙරමුණ තුල රජයට එරෙහිව පැන නගින විරෝධය සහ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් පැන නගින විරෝධය යන කලාප දෙක අතර තිබෙන සම්බන්ධයයි. මේ කලාප දෙක පැහැදිලිවම දෙකකි. හැබැයි මෙම කලාප දෙක අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාරක කලාප දෙකක් නොවේ. සංකීර්ණතාවය මතුවන තැන මෙයයි. තවදුරටත් පැහැදිලි කරනවා නම් ‘නව ලිබරල් ප්‍රතිසංස්කරණ විසින් ඇති කරන තත්වයන්ට විරුද්ධ වීම’ සහ ‘දෙමල විරෝධී/ සුලු ජාතික විරෝධී වීම’ එකිනෙකින් සම්පූර්ණයෙන්ම වෙන් වූ දේවල් නොවේ. යමෙක්ට එක් වරම මේ ආස්ථානයන් දෙක වෙනුවෙන්ම පෙනී සිටිය හැක. නිදහස් අධ්‍යාපනය ගැන කථා කරන ගමන්ම දෙමලාට රට පාවා දීමට විරුද්ධව පා ගමන් යා හැක. රාජ්‍ය දේපල විකිණීමට එරෙහි වෙන ගමන්ම අතුරුදහන් වූවන් සදහා වූ කාර්යාලයක් පිහිටුවීම පිලිබද පනතට විරුද්ධව ද කථා කල හැක. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරන අස්ගිරි පන්සල සයිටම් ප්‍රශ්නය ගැන ද අවධානය යොමු කිරීම මේ සම්බන්ධ නාටකීය උදාහරණයකි.

‘සයිටම් විරෝධී ජන පවුර’ සංවිධානය විසින් සයිටම් ආයතනයට එරෙහිව පසුගිය දින දැවැන්ත සමුලුවක් සංවිධානය කල අතර එම වේදිකාව මත වෘත්තීය සමිති හා වාමාංශික පක්ෂවලට අමතරව ඒකාබද්ධ විපක්ෂයද නියෝජනය විය. ජාතික හෙල උරුමය ද සයිටම් විරෝධී විවිධ වේදිකාවල නියෝජනය වනු පසුගිය කාලයේ අපට දක්නට ලැබුණි. ඒකාබද්ධ විපක්ෂය යනු මේ මොහොතේ සිංහල ජාතිකවාදය සංවිධානය වී තිබෙන ප්‍රධාන දේශපාලන බල කේන්ද්‍රය බව මෙහිදී මතක තබා ගැනීම වැදගත්ය. ජනවර්ග ප්‍රශ්නය ගැන ගනු ලබන කවර හෝ සාධනීය ක්‍රියාමාර්ගයක් ‘රට පාවා දීමක්’ ලෙසට හංවඩු ගසන ඔවුහු දෙමල ජනයාගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් දිශාවට තබන සුලු හෝ ප්‍රතිසංස්කරණයකට මාරාන්තික ලෙස විරෝධය පාති. එම විරෝධය මතින් ආණ්ඩු බලය ඩැහැගැනීමට මාන බලමින් සිටිති.

නිවුටන් ගුණසිංහ යථාර්තය

මේ තත්වය විසින් ඉහත කී සමාජ අරගල තුල නියුක්ත, ඒවාට සහය දෙන වාමාංශික හා ප්‍රගතිශීලී කොටස් අසීරු තැනකට ඇද දමනු ලබයි. රනිල්-මෛත්‍රී රජය ආර්ථික වශයෙන් ක්‍රියාවට නගා තිබෙන අත්තනෝමතික වැඩපිලිවෙල විසින් එන්න එන්නම වඩා සටන්කාමී ක්‍රියාමාර්ග ඉල්ලා සිටී. එකී සටන් ක්‍රියාමාර්ග මග හැරීමට වාමාංශයට නොහැක. ඒවා මග හරින්නේ නම් එවැන්නක් තවදුරටත් වාමාංශයක් ද නොවේ. එහෙත් අනෙක් අතට, එකී සටන් ක්‍රියාමාර්ග උත්සන්න වන විට එමගින් ඇති වන කැලඹිම දේශපාලන බලයක් ලෙස ප්‍රකාශයට පත්වීමේ වැඩි හැකියාව තිබෙන්නේ වාමාංශයේ වාසියට නොව සිංහල ජාතිවාදයේ වාසියටය. මේ සදහා තිබෙන ප්‍රධානතම හේතුව සිංහල ජාතිවාදය සතු බහුජන පදනම වාමාංශික කොටස් සතුව නොතිබීමය. නමුත් ඒ වගේම, සිංහල ජාතිවාදය විසින් දේශපාලනිකව වාසි ගන්නා නිසා බරපතල ලෙස සමාජය සමාජ හා ආර්ථිකමය ලෙස ධ්‍රැවීකරණය කරන නව ලිබරල් ව්‍යාපෘතිය ඉදිරියේ නිශ්ශබ්දව සිටීම වාමාංශික කොටස්වලට කල හැකිද? මේ වූ කලී නියම උභතෝකෝටිකයකි.

මෙම උභතෝකෝටිකය අපට පැහැදිලි කල හැක්කේ කෙසේද? අපට අනුව මෙම තත්වය විසින් පෙන්නුම් කරන්නේ ලංකාවේ ජනවර්ග ප්‍රශ්නය සහ පංති අරගලයේ ප්‍රශ්නය අතර සම්බන්ධතාවය ගැන 1980 දශකය මුල ආචාර්ය නිවුටන් ගුණසිංහ ඉදිරිපත් කල ප්‍රවාදයේ සමකාලීන අදාලත්වයයි. ‘ජූලි සංහාරයෙන් පසු මැයි දිනය’ නම් රචනයේ දී ඔහු ප්‍රකට ලෙස පංති අරගලය මත ජනවර්ග ප්‍රශ්නය අධිනිශ්චය වීම ගැන අදහස ඉදිරිපත් කලේය. මෙම සංකල්පගත කිරීමේ තිබෙන අදාලකම නිසා තරමක් දීර්ඝ වූවත් එය සාරාංශගතව සටහන් කිරීම වැදගත්ය.

නිවුටන් ගුණසිංහගේ ප්‍රවාදයේ මූලිකාංග පහත පරිදිය.

1. ජූලි සංහාරයෙන් පසු ලංකාවේ ප්‍රධාන ජනවර්ග සැකසුම් දෙක අතර සම්බන්ධය මුලුමනින්ම බිද වැටුනු තත්වයකට පත් වී තිබේ. මේ එක් එක් ජනවාර්ගික සැකසුම් දෙක තුල අභ්‍යන්තර සමාජ ප්‍රතිවිරෝධතා වර්ධනය වී තිබෙන්නේ අසමාන විදිහකටය. දෙමල සමාජය තුල පංති ප්‍රතිවිරෝධතාවය බාහිරින් එල්ල වෙන සිංහල ජාතිවාදී තර්ජනය හමුවේ යටපත් වී වාර්ගික විඥානය බලවත් වී තිබේ. සිංහල සමාජය තුල සමාජ බෙදීම් පැහැදිලිව දක්නට තිබුණ ද මේ අතෘප්තීන් ‘දෙමල ජනයාගේ අතාර්කික ඉල්ලීම්’ ලෙස හදුන්වනු ලබන දෙයට එරෙහිව යොමු වීමේ ප්‍රවනතාවයක් බලවත් වී තිබේ. ඒ අනුව මේ සැකසුම් දෙක තුලම ජාතික ප්‍රශ්නය සමාජයේ පංති ප්‍රතිවිරෝධතාවයට ඉහලින් ක්‍රියාත්මක වන ව්‍යුහයක් බවට පත් වී තිබේ. නිවුටන් ගුණසිංහ ‘අධිනිශ්චය වීම’ ලෙස හදුන්වන්නේ මේ සංසිද්ධියයි.

2. පංති ප්‍රතිවිරෝධතා ජනවාර්ගික ප්‍රශ්නය මගින් අධිනිශ්චය වී තිබේ යන්නෙහි අර්ථය පංති අරගලය රික්තකයක සිදු නොවන බවය. පංති අරගලයේ රිද්මය, රටාවන් හා හැඩය කෙරෙහි ජනවාර්ගික ප්‍රශ්නය තීරණාත්මක ලෙස බලපායි. එය පංති සම්බන්ධතාවලට වගේම සන්ධානයන් කෙරෙහිත් තීරණාත්මක බලපෑමක් ඇති කරයි. මේ නිසා ජනවාර්ගික ප්‍රශ්නය ‘අමතක කොට’ කටයුතු කිරීමට පොරොන්දු වීම අමනෝඥ ක්‍රියාවකි.

3. ජනවාර්ගික ගැටුමට සාම්ප්‍රදායිකව ‘ප්‍රගතිශීලී’ ලෙස හදුනාගත් සිංහල දේශපාලන බලවේග විසින් ඉදිරිපත් කරන ප්‍රතිචාර දෙකක් තිබේ.

පලමුවැන්න, එවකට පැවැති එජාප රජය අධිරාජ්‍ය ගැති ආණ්ඩු තන්ත්‍රයක් නිසා ඊට විරුද්ධව ප්‍රගතිශීලී හා දේශප්‍රේමී ජනයාගේ එක්සත් පෙරමුණක් ගොඩනැගීමය.

දෙවැන්න, එම රජය ඉහත කී ලක්ෂණවලින් යුක්ත වූවක් බව සැබෑ නමුත්, සිංහල ජාතිකවාදීන්ගෙන් ද සමන්විත යට කී ආකාරයේ පොදු පෙරමුණක බලවත් දෘෂ්ටිවාදය ලෙස සිංහල ජාතිකවාදය වැඩ කරනු ඇත යන අවබෝධයයි. මෙය සිංහල හා දෙමළ සමාජ අතර තිබෙන විභේදනය තවත් පුලුල් කිරීමට හේතුවනු ඇත. පංති අරගලය මතු වීම සදහා පූර්ව කොන්දේසියක් වන්නේ ජනවාර්ගික ආතතීන් සමනය කිරීමය. එවැන්නකට මේ වර්ගයේ පොදු පෙරමුණක් බාධාවකි. එම නිසා වාමාංශයේ භූමිකාව වන්නේ බලය බෙදීමේ දේශපාලන විසදුමක් ඇති කිරීමේ අවශ්‍යතාවය දකුණ තුල ජනප්‍රිය කිරීමට කටයුතු කිරීමය. එවැනි විසදුමක් ඇති කිරීමට බල කිරීම තුලින් පමණි පංති ගැටුම මත වන ජනවාර්ගික අධිනිශ්චය දුර්වල කරමින් පංති ගැටුම මතු වීම සදහා වූ වාසිදායක තත්වයන් නිර්මාණය කල හැක්කේ.

සමාජ අරගල බහුලත්වය තුල සමකාලීන වාමාංශය මුහුණ දී සිටින සංකීර්ණතාවයේ පසුබිම වටහා ගැනීම සදහා මෙම කියැවීම ඉතාම තියුණු ආලෝකයක් සපයයි. 1980 මුල් භාගයේ නිවුටන් ගුණසිංහ නිරීක්ෂණය කල ලෙසම වර්තමානයේ ද ලංකාවේ සිංහල හා දෙමල ජනවර්ග සැකසුම් දෙක අති බරපතල ලෙස ධ්‍රැවීකරණය වී තිබේ. දකුණ තුල සමාජයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා උතුරට සාපේක්ෂව වැඩියෙන් ප්‍රකාශයට පත් වී ඇත. උතුරේ දේශපාලනය තුල ප්‍රමුඛ වී තිබෙන්නේ ජනවර්ග ප්‍රශ්නයට අදාල ඉල්ලීම් වූවද දකුණ තුල ජනවාර්ගික නොවන සමාජ ආර්ථික අරගල පැන නගිනු දැකගැනීමට පුලුවන. එහෙත් වැදගත්ම දෙය, මේ අරගල ක්‍රියාත්මක වන්නේ හිස් අවකාශයක නොව සිංහල ජාතිකවාදය සමාජ ප්‍රතිවිරෝධතාවලට ඉහලින් ආධිපත්‍යයික ව්‍යුහයක් ලෙස ක්‍රියාත්මක වන තරලයක් තුල වීමය. එම නිසා එම අරගල හරයෙන් ජාතිවාදී නොවූවත් එමගින් ඇති කරන කැලඹීම සිංහල ජාතිවාදයට එනයින්ම පසමිතුරු වූවක් නොවේ. එම කැලඹීම සිංහල ජාතිවාදය සමග සන්ධානගත වීමේ විශාල විය හැකියාවක් තිබේ. මේ විය හැකියාව ලංකාව තුල බලපවත්වන වාර්ගික අධිනිශ්චයේ ප්‍රතිඵලයකි. ‘උඹලා සයිටම් එකට විරුද්ධව සටන් කලාට මුස්ලිම් අන්තවාදයට / උතුරු පලාත් සභාවේ බෙදුම්වාදයට විරුද්ධව මුකුත් කරන්නේ නැත්තේ ඇයි’ යනුවෙන් අවිශිබම ක්‍රියාකාරීන්ගෙන් විමසන (ඇත්තටම සයිටම්වලටත් විරුද්ධ) පොදු සිසුන් අපට අභිමුඛ වන්නේ මෙන්න මේ පසුබිම නිසාය.

මෙතැනදී, වාමාංශික කොටස්වලට ගත හැකි මාවත් දෙකක් තිබේ. ඒ ඉහත නිවුටන් ගුණසිංහ විසින් සංකල්පගත කල මාවත් දෙකමය. පලමුවැන්න නම් ජනවර්ග ප්‍රශ්නය ‘අමතක කිරීම’ හෝ ‘තරමකට පසුවට තැබීමය’. ජනවර්ග ප්‍රශ්නය එලෙස මදකට අමතක කල හැකි නම් නව ලිබරල්වාදයට එරෙහි සටන්වලදී සිංහල ජාතිවාදීන් සමග එක පෙලට සිට සටන් වැදීමට පුලුවන. හැබැයි එවැනි ක්‍රියාමාර්ගයක් සදහා ගෙවීමට සිදුවන මිල නම්, සිංහල ජාතිවාදය එම සටන් රැල්ල තුලින් බලයට ඒම සහ එය විසින් ජනවර්ග සබදතා වඩාත් ධ්‍රැවීකරණයට ලක්කිරීමට නියමිත වීමය. තවද, එය සිංහල හා දෙමල ජනවර්ග සැකසුම්වල අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා මතුව ඒමට තවදුරටත් බාධා කරන සාධකයක් බවට පත්වීමට පුලුවන. විශේෂයෙන්ම පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී හොදින්ම පැහැදිලි වූ පරිදි නව ලිබරල් ප්‍රතිසංස්කරණ සුජාත කිරීමේ ඉතාම ශක්තිමත් සදාචාරමය රාමුවක් සැකසීමේ හැකියාව ලංකාව තුල ජාතිකවාදයට ඇති බව මතක තබාගැනීම වැදගත්ය.

ගත හැකි දෙවන මග නම්, නව ලිබරල්වාදයට එරෙහි ව්‍යාපෘතිය සමග සිංහල ජාතිවාදයට විරුද්ධ සටන් පෙරමුණක් ඉදිරියට ගැනීමය. දැනට දකුණු ලංකාව තුල දකින්නට නොමැත්තේ ද ඉහත කී දෙවන වර්ගයේ ව්‍යාපෘතියකි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් බලය බෙදීමේ යාන්ත්‍රණයක් ඇති කිරීම ගැන, අතුරුදහන් වූවන් පිලිබද කාර්යාලය ගැන කථා කරන්නේ නව ලිබරල් ආර්ථික වැඩපිලිවෙලට සහයෝගය දෙන ලිබරල්වාදී කොටස්ය.මෙකී මාතෘකා මහජනයා අතර අප්‍රසාදයට ලක්වීමට එක් හේතුවක් වන්නේ ඒ ගැන කතා කරන අයගේ භාවිතාවේ පවත්නා සැක කටයුතු ස්වභාවයයි.රැඩිකල් වම ඒවා සම්බන්ධව නිහඩය. නැතිනම් උදාසීනය. ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වාර්ගික අධිනිශ්චය දුර්වල කිරීම සදහා දේශපාලන ව්‍යාපෘතියකට අවතීර්ණ වී නැත. එපමණක් නොව අවම වශයෙන් බලය බෙදීම ආදී දෙමල සමාජයේ ප්‍රජාතාන්ත්‍රීය ඉල්ලීම්වලදේශපාලන අර්ථය වටහා ගන්නා තැනකවත් එම පක්ෂ නැත. ඔවුන්ගේ සංකල්පය අනුව සිංහල, දෙමල, මුස්ලිම් සියලු දෙනා එකතු වී සාමූහික සංස්කෘතික උත්සව පැවැත්වීම ජාතික ගැටලුව විසදීම සදහා යා යුතු මගයි. බලය අසමාන ලෙස ව්‍යුහගත වී තිබීම පිලිබද දේශපාලන ප්‍රශ්නය ආමන්ත්‍රනය කරනු වෙනුවට ‘ජාතික සමගිය’ සදහා සහෝදරත්වයේ දිනය ආදී -යාලුයි අපි යාලුයි- පන්නයේ වැඩසටහන් සංවිධානය වන්නේ ඒ අනුවය. තවද, ජාතික ප්‍රශ්නය ගැන වියුක්තව අදහස් දැක්වූවද ‘පංති සටන’ මිස පංති සටනට ජනවර්ග ප්‍රශ්නය දක්වන තීරණාත්මක සහසම්බන්ධය ගැන නිසි කියැවීමක් එම පක්ෂවලින් ඉදිරිපත් වෙනු දක්නට නොලැබේ.

ජනවර්ග ප්‍රශ්නය ප්‍රජාතාන්ත්‍රීයව විසදීමේ අවශ්‍යතාවය සිංහල සමාජයේ පහල පාන්තික ජන කොටස් අතර ජනප්‍රිය කල හැක්කේ එම ජනකොටස්වල එදිනෙදා අයිතිවාසිකම්, ඔවුන්ගේ ඉඩම්, ඔවුන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ නිවාස, ඔවුන්ගේ ජීවනෝපායන් පිලිබද කථා කරන හා සටන් කරන බලවේගවලට මිස එම ජනයාට එරෙහි නව ලිබරල් ප්‍රහාරයන්ට සහය දෙන ඊනියා ලිබරල් කොටස්වලට නොවේ. රූපකාර්ථවත් උදාහරණයකින් කියන්නේ නම් බදුල්ලේ සිංහල පහල පාන්තික ජනයා සමග ජනවර්ග ප්‍රශ්නය ගැන හොදම සංවාදය ගැනීමේ හැකියාව තිබෙන්නේ ඔවුන්ගේ ජීවනෝපාය පිලිබද ප්‍රශ්නයේ දී ඔවුන් සමග එක්ව සටන් වදින සමන්ත විද්‍යාරත්නට මිස, විශ්ව විද්‍යාලවල ගම්බද පහල පාන්තික පසුබිම්වලින් එන තරුණ තරුණියන් සමග ජාතිවාදය ගැන හොදම සංවාදය ගත හැක්කේ ඔවුන්ගේ අධ්‍යයන සුබසාධන ප්‍රශ්න වෙනුවෙන් සටන් වදින ලහිරු වීරසේකරට මිස මෙම සමාජ කොටස් සමග කිසිදු සම්බන්ධයක් නොමැති, ප්‍රභූවාදී ලෙස ඔවුන්ගේ ප්‍රශ්න දෙස බලන, ඇතැම් විට ‘බයියන්’ ලෙස ඔවුන් හෙලාදකින, එහෙත් ඒ අතරම තමුන් ජාතිවාදයට විරුද්ධ බව කියා ගන්නා මැද පංතික ලිබරල්වාදීන්ට හෝ ඔවුන්ගේ වීරයින් වන හර්ෂ ද සිල්වා වැන්නවුන්ට නොවේ. වාමාංශය එවැන්නකට අවධාරණය නොයොදනා තාක් දුරට සිංහල ජාතිවාදය බලවත් අදහසක් ලෙස දකුණ තුල වැඩ කරනු ඇති අතර පැන නගින කවර හෝ සමාජ අරගලයකට ක්‍රියාත්මක වන්නට සිදුවන්නේ ජාතිවාදයේ එම ආධිපත්‍යයික තරලය තුලය.

සත්‍යය නම්, අප තවමත් ජීවත් වන්නේ නිවුටන් ගුණසිංහ යථාර්තයක වීමය. එම යථාර්තය යනු නව ලිබරල්වාදයට එරෙහිව පංති සටන පමණක් පවතින සරලමතික මොහොතක් නොව පංති අරගලය ජනවර්ග පීඩනය සමග සම්බන්ධ වූ සංකීර්ණ මෙහොතකි. සමාජ අරගල පැන නැගීම ගැන සුබවාදී වන ගමන්, එමගින් කැලඹෙන මහජන කෝපය ජාතිවාදීන්ට අවභාවිතා කල හැකි විධි ගැනත් එමනිසාම එලෙස අවභාවිතා කල නොහැකි ලෙස ජාතිවාදය දුර්වල කිරීමට මැදිහත්වීමේ වැදගත්කම ගැනත් විචාරාත්මක විය යුත්තේ එබැවිනි.

රමිදු පෙරේරා
අක්ෂය

LEAVE A REPLY