එජාපයේ 77 පරම්පරාව අවසන්ය. මේ 77 දරුවන්ට කාලය යි.

0
234

’77 විප්ලවය‘ නැතිනම් සංවෘත්ත ආර්ථිකයික් ‘විවෘත ආර්ථිකයට‘ ලංකාව මාරුවී වසර 40 ක් ගතවී ඇත. රනිල් වික්‍ර‍මසිංහ මහතා ගේ දේශපාලන ජීවිතයට ද වසර 40 කි. 77 විප්ලවයෙන් පසු වසර 40 න් මුල් වසර 17 ක් එජාපය බලයේ සිටියේ ය. ඉතිරි වසර 22 යි මාස 6 එජාපය සිටියේ විපක්ෂයේ ය. නැතිනම් අර්ථ විපක්ෂයේ ය. එනම් පූර්ණ විධායක ජනාධිපති ක්‍ර‍මයක් ඇති රටක, රාජ්‍ය නායක බලය නැතිවය. ලංකාවේ මාධ්‍ය සහ ප්‍ර‍චාරකපට බහුතරයක් ජූලි 22 දකින්නේ 77 විප්ලවයේ දිනය ලෙස පමණී. 77 පාර්ලිමේන්තුවේ සිට රනිල් වික්‍ර‍මසිංහ පමණක් නොව කටුගම්පොල මන්ත්‍රී ගාමිණී ජයවික්‍ර‍ම පෙරේරා ගේ පාර්ලිමේන්තු දිවියට ද වසර 40 කි. එතකොට ගාමිණී ජයවික්‍ර‍ම පෙරේරා කේක් කපන්නේ නැත්තේ? ඔහු ටික කලක් වයඹ පලාත් සභාවේ ප්‍ර‍ධාන ඇමති වී පාර්ලිමේන්තුවේ නොසිටි නිසා විය හැකිය.

සැබවින්ම රනිල් වික්‍ර‍මසිංහ එජාපය 1946 සිට 1977 දක්වා පැමිණි ගමන් මග වෙනස් කල එකම නායකයා ය. එජාපයේ ‘සම්ප්‍ර‍දාය‘ වෙනස් කළ පුද්ගලයා ය. එජාපයට ආවේනික පක්ෂ අනන්‍යතාව වෙනස් කළ පුද්ගලයා ය. එජාපටය 77 මහා මැතිවරණයේ දී අති මහත් බලයක් ලබන්නට හේතු කිහිපයකි. සංවෘත ආර්ථිකය විසින් ඇති කළ පීඩාව, මර්ධනය, මැතිවරණ කල් දැමීම හා ජේ.ආර්. ගේ සංවිධාන ශක්තිය ඒ අතර ප්‍ර‍මුඛ ය. එදා එජාපයේ තැනක් ලබන්නට ශිෂ්‍ය, තරුණ සමිති, වෘත්තීය සමිති, එජාප සමිති සමාගම්වල, ගම් සභාවේ හෝ තෙම්පරාදු විය යුතුව තිබුණි. පක්ෂයට වැඩ කළ යුතුව තිබුණි. අඩියෙන් අඩිය පඩි පෙළේ ඉහළට නැගිය යුතුව තිබුණි. 77 මැතිවරණයෙන් ජයගත් කිහිපදෙනෙකු හැර අති බහුතරයකට ඒ පොදු ලක්ෂණය තිබුණි. නමුත්, රනිල් වික්‍ර‍මසිංහ මහතා 77 බියගමට එන්නේ එයට හාත්පසින් වෙනස් පරිසරයකිනි. ඒ පවුලේ දේශපාලන නියෝජිතයා ලෙසිනි. එවකට තරුණ පෙරමුණේ සභාපතිවරයා වූ ජිනදාස නියතපාල මහතා කියා ඇති පරිදි මැතිවරණයට තරග කරන්නට තරුණ පෙරමුණේ සාමාජික කාඩ්පත පස්ස දොරෙන් රනිල්ට දෙන්නට නියතපාලට සිදු විය. එජාපය නම ලැබුණේ ද, හැදුවේ ද, නැතිකළේ ද මාමා-බෑනා සංයෝගයන් ය. 1977 සිට 1994 දක්වා එජාප පාලනයේ වික්‍ර‍මසිංහ සලකුණ ගැන බොහෝ සුරංගනා කථා ලියැවී ඇත. ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වූ ලංකාවේ ප්‍ර‍මුඛම පක්ෂයේ නායකයෙකු ගැන එවැනි කථා ලියැවීම පුදුමයක් නොවේ. අධ්‍යාපනය, තරුණ කටයුතු, යොවුන් පුරය එජාපයේ වැඩසටහන්වල පස්වන –

හයවන තැන් හි වූවේය. නමුත්, බටලන්ද වදකාගාරය ඇතුළු මර්ධනය නම් එසේ නොවේමය. ප්‍රේමදාස, ලලිත්, ගාමිණී ඝාතනයෙන් පසුව 1994 අවසානයේ එජාප නායකත්වය පත්වන රනිල්, එදා මෙදා වසර 22 යි මාස 6 ක් පක්ෂයේ නායකයා ය. ඔහු එජාප නායකත්වය පාර කැපී තිබූ එකම තරගයේ දී විපක්ෂ නායක ධූරයට ගාමිණී දිසානායකට පරාජය විය. දේශපාලන කුමන්ත්‍ර‍ණ දෙකකින් අවස්ථා දෙකක දී වසර දෙක බැගින් ඔහු රටේ අගමැතිවරයා වී ඇත. ජනාධිපතිවරණ දෙකක්, මහා මැතිවරණ, පළාත් සභා, පළාත් පාලන මැතිවරණ 31 ක් පරාජය වී ඇත. පරාජය නියත බැවින් අවස්ථා දෙකක දී පොදු අපේක්ෂකයින් මතින් ජනාධිපතිවරණ මගහැර ඇත.

පක්ෂයේ අනන්‍යතාව නැතිවීම

එජාපය රටේ අංක එකේ ධනපති පක්ෂයයි. ධනපති පක්ෂයක ස්වභාවය කුමන පසුබිමක හෝ වේවා දක්ෂයාට තැන දීම ය. දක්ෂ කලමනාකරුවාට, කථිකයාට, නීතිඥයාට, වෘත්තිකයාට, ව්‍යාපාරිකයාට, ව්‍යවසායකයාට, ‘ජාතික අනන්‍යතාව‘ රැක ගනිමින් තැන දීම ය. එජාපයට පසුගිය වසර 22 තුල අලුතෙන් එවැන්නන් කොපමණ පිරිසක් එක් වී ඇති ද යන්න වෙනම ලිපියක් ලිවිය හැකි කරුණකි. නමුත්, මේ කාලය තුල එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 42 ක් එජාපය හැර ගියේය.
නායකයාගේ එහෙයියන් ඉතිරිවී නායකත්වයට තර්ජනයක් විය හැකි සැවොම පක්ෂය හැර ගියේය. පක්ෂයට ඇති ශක්තිය පක්ෂ ව්‍යුහය, වෘත්තීය සමිති, ශිෂ්‍ය, තරුණ, කාන්තා සමිති ය. නව නායකයින් හැදෙන්නේ එතැනිනි. එජාපය අද නැත්තේ ද, ඒ පක්ෂ ව්‍යුහය යි. ජනාධිපතිවරණය දුවවන්නට, පෝස්ටර් ගැසීම ජනාධිපතිවරණ දෙකක දී ජ.වි.පෙ. විසින් සිදු කිරීම නිසා එය දැනුනේ නැත. මනාප ක්‍ර‍මයට දුවන අපේකෂකයින් නිසා එහි අඩුව දැන්නෙන්නේ ප්‍ර‍තිඑල නිකුත් වන විට පමණී. සෑම මැතිවරණයකින්ම ‘නායකයාගෙන් තොර පැවැත්මක් නැති‘ පිරිසක් ඉදිරියට ගැනීමට ඔහු සමත් විය. ඒ පිරිසටද, ‘කොන්දේසි විරහිතව නායකයා රැකීම හැර‘ වෙනත් වගකීමක් තමන්ගේ ධූර කාලයේ දී කරන්නට වන්නේ ද නැත. වත්මන් එජාපය පක්ෂ යාන්ත්‍ර‍ණයක් නොමැති රාජ්‍ය නොවන සංවිධාන ජාලයකින් ජන මතය හදා මැතිවරණ දිනනන්ට නොව දේශපාලන කුමන්ත්‍ර‍ණ වලින් බලයේ රැදී සිටින්නට වෙර දරණ ‘කල්ලිය‘ කි. රට පුරා හැම තැනම පක්ෂයේ බල කේන්ද්‍ර‍ බවට පත් වූ එජාප පවුල් සිටියේය. මාතලේ අලුවිහාරේ පවුල, වැලිමඩ සමරවීර, පුංචිනිලමේ, මැතිව් එවැනි පවුල් වෙති. මේ පවුල් එජාප බලකේන්ද්‍රයෙන් ඉවතට ගියේ 77 විප්ලවයේ අවසාන වසර 22 තුලය. රටක් දිනන්නට දිස්ත්‍රික්කයක් දිනිය යුතුය. දිස්ත්‍රික්කයේ ඉහළින්ම දිනන උදවිය රට ද, පක්ෂය ද දිනිය හැකි බැවින් දෝ පුත්තලම, මාතලේ වැනි දිස්ත්‍රික්ක වලට 2015 ජනවාරි විප්ලවයෙන් පසුව කැබිනට් ඇමතිකමක් හෝ ලැබුණේ නැත. කැබිනට් ඇමතිකමක් දීමේ නිර්ණායක බඩයි, උසයි වුවත් වැලිමඩ සමරවීරලාට – මාතලේ අළුවිහාරේලාට ඇමතිකම් ලැබිය යුතුය. හැම දිස්ත්‍රික්කයකම ජයප්‍රියම පුද්ගලයාගේ බලය කැපීම 77 විප්ලවයේ අවසාන සමයේ තවත් සුවිශේෂත්වයකි. මොණරාගල රංජිත් මද්දුම බණ්ඩාර, මාතර බුද්ධික පතිරණ, පුත්තලම රංග බණ්ඩාර එවැනි උදාහරණ වෙති.

සුළු පක්ෂ දුරස්ථවීම

අතීතයේ එජාපය‘ජාතික‘ පක්ෂයක් විය. හැම ජාතියකම, වර්ගයකම උදවිය එජාපයේ එදා සිටියේය. අද එජාපයේ ද්‍ර‍විඩ නායකයා ‘ස්වාමිනාදන්‘ ය. මුස්ලිම් නායකයා ‘මරික්කාර්‘ ය. ජන පදනමක් ඇති ඉම්තියාස් බාකිර් මාකර් වැන්නවුන්ට අවම වශයෙන් නාම යෝජනා හෝ ලැබෙන්නේ නැත. ඒ අඩුව කාලයෙන් කාලයට පුරවන්නේ ‘හකීම්-මනෝ- රිෂාක්-දිගම්බරම් ය. නැතිනම් තොන්ඩමන් ය. එජාපයේ ‘ජාතික‘ ස්වරූපය වියැකීයාම තුල රටතුල සිංහල බෞද්ධ අන්තවාදය ව්‍යාප්ත විය. ඒ මැතිවරණයට පිටපතින් ආනයනය කරන සුළුජාතික පක්ෂවල ජාතිකවාදී ව්‍යාපාරයන්ට එරෙහිවය. අනෙක් අතට එජාපයට පාර්ලිමේන්තුවේ හිමිවන මන්ත්‍රීධූර සංඛ්‍යාවෙන් ලොකු පංගුවක් මේ කුඩා ජාතික පක්ෂ වෙත වෙන්වන්නේය. එජාපයට 1999 සිටම වුනේ මැතිවරණයේ දී ඉලක්කම් ලියවුණාට පාර්ලිමේන්තුව තුල පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව ක්‍ර‍මයෙන් අඩුවෙමින් පක්ෂයේ ශුද්ධ බලය බිම් මට්ටමේ දී අඩුවීම ය. 77 විප්ලවයේ අවසන් වසර 22 ½ තුල එජාපය දිගින් දිගටම සිදු කළේ දේශපාලන වරද්දාගැනීම්ය. ඉන් පලමුවැන්න, සුළු ජාතිකයින් ට පක්ෂයේ අවස්ථා අහිමි කිරීම හා එහි ප්‍ර‍තිඑලයක් ලෙස ජාතිය පදනම් කොට ගත් දේශපාලන පක්ෂ මැතිවරණයක දී පමණක් සන්ධාන ගත කරවා ගැනීමය. දෙවැන්න, 2004 වසරේ දී ශ්‍රීලනිපයේ සිංහල-බෞද්ධ ඡන්ද පදනමට කඩන්නට යැයි කියා මලික් සමරවික්‍ර‍ම හරහා සිහළ උරුමයට, පසුව හෙළ උරුමයට සහාය දීමය. එජාපයට එහි ජාතික අනන්‍යතාව මුළුමනින්ම නැති විය. දැන් සුළු ජාතිකයින් හැලී ගොසිනි. සිංහල බෞද්ධ නායකයින් ද ගැලවී ගොසිනි. අද එජාපයේ අර්බුදය පක්ෂයට නායකයින් හෝ විකල්ප නායකයින් නැතිවීමය.

එජාපය පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගත් අවස්ථා දෙකේ දීම එය විපක්ෂයට ‘සැපතක්‘ ද එජාප පාක්ෂිකයින්ට ‘විපතක්‘ ද විය. 2002 දී ඉතා ඉක්මනින් නැවත බලයට පැමිණීමට ශ්‍රීලනිප බල කදවුරට ඒ අනුව අවස්ථාව ලැබුණි. එය එජාපය පාක්ෂිකයින්ට නොසලකමින් සිදු කළ ‘දිවි නසා ගත්තේය‘. මහපොළොවට සම්බන්ධ නැති ‘රාජකීය සමාජයක්‘ ව්‍යාපාර කරන්නට ගොස් එජාපය නැත්තටම නැති කළේය. 2015 දී, විපක්ෂයට සැපතක් වෙමින් ‘දුෂිතයින් සමග ඩීල් දමමින් ඔවුන් රැකගෙන දැන් ඔවුන්ගේ පාට් බලමින් නෝංජල් වන්නේය. රාජකීය සමාජය බැදුම්කර, විදේශ ආයෝජන, මුදල් ඇතුළු සියළු අපකීර්තිමත් ගණුදෙනු හා ඩීල් පෙරදැරිව පක්ෂ පදනම විනාශයට තල්ලු කරන්නේය. බැදුම්කරය විසින් අද එජාප නායකයා ද, උපනායකයා දුෂිතයින් ලෙස හංවඩු වැදී විනාශ කොට ඇත්තේය. ඒ සියල්ලටම වඩා අද ගමේ-නගරයේ තම ශක්තියෙන්-ධෛර්යයෙන් නැගී සිටී බිම් මට්ටමේ නායකයින්ට පලාත් පාලන මන්ත්‍රී ධූරයත් අහිමිව තිබේ. තමන්ගේ සමාජ වටිනාකම අහෝසි කරන දේශපාලන පක්ෂයට කිසිදු යමක්-කමක් ඇති, හැකියාවක් ඇති ධනේෂ්වර නායකයෙකු පෙම් බදින්නේ නැත. නාම යෝජනා ලබාගන්නට එන්නේ ද නැත. එහි ප්‍ර‍තිඑලයක් ලෙස මැතිවරණයකට මුහුණදීමට බැරි තැනකට එජාපය වසර දෙකක් තුළ බිද වැටී ඇත. අඩපණවී, දුර්වල වී ඇත. අවස්ථා දෙකක දී ශ්‍රීලනිපයේ මහ ලේකම්වරු (එස්.බී. දිසානායක හා මෛත්‍රීපාල සිරිසේන) පක්ෂ මාරුකොට පැමිණ එජාප නායකයාව වසර දෙක බැගින් අගමැති පුටුවේ වාඩි කර ඇත. ඒ දෙවරම, කෙටිකලකින්ම තමන්ට අගමැති ධූරය ලබාදුන්
පාර්ශව සමග ඔහු ගැටුම් ඇති කොට ගත්තේය. එයටත් වඩා ලංකාවේ විශාලතම පක්ෂය යැයි ව්‍යවහාරයට කියන නමුත්, මැතිවරණයට සති කිහිපයකට පෙර පිටතින් පැමිණෙන පුද්ගලයෙකු තම නායකයාට වඩා පාක්ෂිකයින් අවස්ථා තුනක දී (2010 දී සරත් ෆොන්සේකා ද ඇතුළුව) ආකර්ශනීය වී ඇත. එජාප පාක්ෂිකයින්ගේ විශ්වාසය, කැමැත්ත දිනා ඇත. 77 විප්ලවයේ හතලිස්වැනි සැමරුම එජාපය නායකයා ද, පක්ෂය ද පසු කළේ එවැනි පසුබිමක ය. හතලින් වසකින් පළමු වසර 17 ශ්‍රී විභුතිය මත, පරාජිත වසර 22 ½ ක කැළල වසා ගැනීමට ය. හතලිස් වස් පිරෙන දා, උත්සවාකාරයෙන් සමරන්නට තරම් වැදගත් කමක් ඇතිනම් ඒ අනාගතය සදහා වන දැක්මක්, බලාපොරොත්තුවක් සහිතව විය යුතුය. නමුත්, වසර හතලිහක් තුල පළමු වසර 17 ½ එක දිගට බලය රැක ගැනීමට, එතැන් පටන් වසර 22 ½ පරාජය වැලද ගැනීමටත් සිදුව ඇති පක්ෂයකට පැවතිය හැක්කේ අනාගතය පිළිබද ප්‍ර‍ශ්ණයක් පමණී. එජාප පාක්ෂිකයින්ට නම් එක දිගට වසර 22 ½ පරාජයට පත් වූ, 2015 දී රාජකීයන් දුසිම් කිහිපයකට බලය ලබා දුන් මේ අගමැති ආණ්ඩුවෙන් වැඩක් නැත.

එජාපයේ පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන් බහුතරයකට ද එසේමය. පළාත් සභා තුනක් කල් දමන්නට යන විට එජාප පළාත් සභා මන්ත්‍රීවරුන් තමන්ට බලය කෙසේ වෙතත් තියෙන මන්ත්‍රීපට්ටම ද නැති බව බව දනී. නමුත්, රංජන් රාමනායකට මෙන් එළියට ඇවිත් තවම ඒ දේ කියන්නට ශක්තියක් නැත. ඔවුන් අතරින් බහුතරයක් බලාගෙන ඉන්නේ තවත් වරක් කවුරුන් හෝ පිටින් පැමිණ තමන්ට බලය අරගෙන දේවි යැයි මිස, මේ නායකයා සමග 2020 තරගයට යන්නට නොවේ. රාජපක්ෂ යුගයේ බිම බලාගෙන සිටි මෛත්‍රීපාල මහ ලේකම්තුමා අවසානයේ රාජපක්ෂ ලා පරාජය කළේය. 77 විප්ලවයේ ජයග්‍ර‍හණ අවසන් වූයේ 1994 දී ය. පරාජය අවුරුදු 22 ½ ක් ඇදී යමින් තිබේ. ’77 පරම්පරාව අවසන් ය. මේ 77 විප්ලවයේ දරුවන්ගේ කාලය යි.

රජිත් කීර්ති තෙන්නකෝන්

LEAVE A REPLY