මස්තිෂ්ක අන්ධකාරය

0
175

මිනිස්සු සිය ගණනින් මැරෙන්න ගන්නවත් එක්කම රට පුරා හිදිසි තත්වයක් ප‍්‍රකාශ කරනව. විද්‍යාගාරවල පරීක්ෂණවල ඉදන් බලි තොවිල් වෙනකම් හැම විදිහකින්ම මිනිස්සු උත්තරයක් හොයන්න මහන්සි ගන්නව. නගර පිටින් පාළුවෙලා ඒ භයානක හැගීම් විරහිත අන්ධකාරෙ ගිලෙද්දි වෙන කරන්න දෙයක් නැති තැන නගර ගම් පිටින් මරණයට හුදෙකලා කරන්න තීරණය වෙනව. කවුරුත් විශ්වාස කරයිද මේ අන්ධකාරය පටන් ගන්නෙ ආලෝකමත් පුංචි සුන්දර ගමකින් කියල. සමහර විට අන්ධකාරය හරිම තැනින් පැතිරෙන්න පටන් ගත්ත වෙන්න ඇති, ඒ තමන්ගෙ ප‍්‍රතිපක්ෂය වෙච්ච ආලෝකය තුළින්ම ඒ අන්ධකාරයට ඉපදෙන්න දීල.
⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆

ගම සුන්දරයි නගරය කැතයි කියන කතාව ඇත්තද බොරුද කියන්න මං ඉක්මන් වෙන්නෙ නෑ. ඒත් මං එක දෙයක් දන්නව ගමේ තවම මොකක්දෝ සාමූහිකත්වයක් තියෙනව, ඒකෙන් ගමට ඔය වෙල් එළිවල තියෙනවයි කියන ලස්සනට වඩා ලස්සනක් ගේනව. ගම කතාබහේදි මොන තරම් උඩින් උස්සල තිබ්බත් අවුරුද්දට ගිහින් එන්න යනව මිසක් ඔච්චර හොදයි කියන ගමේ නවතින්න කවුරුත් කැමති නෑ. කොහොම හරි නිවාඩුවට කැම්පස් එකේ යාළුවො දෙන්නෙක් එක්ක පොඩි මාමලගෙ ගමට යන්න හිතුවෙ වෙනසකටත් එක්කයි. ඒ ගම මේ වගේ කාලෙක හොයා ගන්න අමාරු විදිහෙ හුදෙකලා වෙච්ච බිමක්. ළගම තියෙන බස් එකක් යන පාරට එන්නත් ඒ මිනිස්සු ගොඩක් දුර පයින් එන්න ඕනෙ. ඒ හින්දමද කොහෙද ඒ මිනිස්සුන්ගෙ ලෝකය ගමෙන් එහාට පැතිරෙන්නෙ හරිම අඩුවෙන්. මේ හුදෙකලා බව නිසාම ගමට අනෙන්‍යය වෙච්ච සංස්කෘතික ලක්ෂණ ගොඩක් තියෙනව. කොහොම උනත් ඒ මිනිස්සු හරිම මිත‍්‍රශීලී වගේම විනෝදකාමීයි. රටේ අනිිත් මිනිස්සුන්ට වගේ පාරට බස් එකක් නැති එක, විදුලිය නැති එක වගේ දේවල් එයාලට හිතන්න තරම්වත් දෙයක් නෙමෙයි ඒ හින්ද මොන තරම් අඩුපාඩුකම් මැද උනත් ඒ මිනිස්සු සැහැල්ලූවෙන් උන්නා. ගම මැද්දෙ සතියට සැරයක් දෙසැරයක් පැදුරු සාජ්ජයක් තියෙනව. ගමට කවුරු හරි අමුත්තො ආව දවසට ඒක අනිවාර්යයි. ගමේ හැම ගෙදරකම දොර හැම කෙනෙක්ටම විවෘතයි. ගමේ කොල්ලො ටිකත් හරිම මිත‍්‍රශීලියි. දකින දකින තැන ඇවිත් කතා කරනව. යාළුවො දෙන්නත් එක්ක මෙහෙ එන්න හිතුවෙ වෙනසකටත් එක්කයි.
ටවුමෙ ඉදල සෑහෙන දුරක් බස් එකේ ඇවිත් පන්සල පහුවෙලා ටිකක් ගියහම තියෙන නුග ගහ ගාවින් බහිද්දිම මට හරිම අමුත්තක් දැනුන. එතනින් ගමේ අය දෙතුන් දෙනෙකුත් බැස්ස. මෙතනින් බහින්නෙ ගමට යන්න කියල හැමෝම දන්නව ඉතිං මෙතනින් බහින කෙනෙක්ගෙන් කවුද කින්ද මන්ද කියල අහන්න, බඩු මොනව හරි තිනෙවනම් උස්සන් යන්න, ගමේ අලගිය මුලගිය තැන් ඔක්කොම යනකම් කියන්න මේ මිනිස්සුන්ට ඒ එන අමුත්තව කළින් අදුනගෙන ඉන්න ඕනෙ නෑ මං දන්න තරමින්. ඒත් අද ඒ මිනිස්සු හරිම නිහඩයි. මං කළින් ගමට ආව පාර මේ ගොඩක් දෙනෙක් මාව හොය හොය ඇවිත් කතා කරපු හින්ද ඇදුනුම් කමට නිකමට හිනාවුනා විතරයි. ඒ හිනාවත් උදේට ජොගින් පාත් එකේ දුවන මිනිස්සු මූණට හම්බෙන අයට ගුඞ් මෝනිං කියනව වගේ හරිම ව්‍යාජයක්. පැය එක හමාරක විතර පයින් ගමන පුරාම තිබ්බෙ ගුප්ත නිහඩ බවක්. ඒත් මං දන්න ගමේ මිනිස්සුනම් හැම තිස්සෙම ළග ඉන්න අයත් එක්ක මොනව හරි ආගිය තොරතුරු කතා කරණව. මෙතන මිනිස් කට හඩකට ඇහුනෙ අපි තුන්දෙනා මොනව හරි කුටු කුටු ගාපු එක විතරයි. පුරුදු නැති හින්ද පාරෙ සමහර තැන් වලදි බෑග් උස්සන් අපිට යන්න් අමාරු වෙද්දි එයාල උදව් කළා. ඒත් ඒ උදව් කරල පුරුද්දට මිසක් හැම වෙලේම අපි අතර ලොකු දුරක් දැනුනෙ.

ඒ ඇත්තටම මං දන්න පොඩි මාම නෙමෙයි. කළින් පාර බස් එකෙන් බහින තැනට පැය ගානකට කළින් ඉදන් ඇවිත් ඉදල මාව එක්කගෙන ගිය පොඩි මාමගෙන් අද හම්බවුණේ කොහොමද පුතා කියල වචන දෙක තුනකට සීමා වෙච්ච රාජකාරිමය පිළිගැනීමක්. පොඩි මාමගෙ දුව පොඩි කෙල්ල ගිය පාර ආපු වෙලාවෙ අයියෙ අයියෙ කියල මගෙ පස්සෙමයි. කියවනව කියවනව ඉවරයක් නෑ. ඒකට අද ඒ කෙල්ල ගොළුවෙලා නෑ කියල දැනගන්න මට පැය ගාණක් ගියා. අමුත්තෙක් ආව කියල ගමේම මිනිස්සු යනින් එනින් ගමන් ගෙට ගොඩවෙලා අදුනගෙන යනව වෙනුවට ගාණක්වත් තිබුන් නෑ කාටවත්. නිකන් අපි පොඩි මාමලගෙ ගෙදර කාමරයක් කුළියට අරන් නැවතිලා වගෙයි. ගමේ කොල්ලො ටික පේන්නවත් හිටියෙ නැති හින්ද මං උන් ටි‍්‍රප් එකක්වත් ගිහින් කියල හිතුවට උන් ඔක්කොම ගෙවල් අස්සට වෙලා උන්නා. වෙනද ගම මැද්දෙ තිබුණ පැදුරු සාජ්ජ දැන් කෙරෙන් නෑ කියලම් පැහැදිලියි. වෙනද ගමේම කොල්ලො මාත් එක්ක ඇවිදින්න ආවට මේ පාර අපිට උදව්වට පාර පෙන්නන්න කෙනෙක් හොයා ගන්න නැතිවුණා. ගමේ ඉස්කෝලෙ වහලද කියලත් මට හිතුන, වෙනද හැතැම්මක් තියා පොඩි උන්ගෙ කෑගැහිල්ල. ගිය පාර මං කැම්පස් එකේ කියල ආරංචි වෙලා ඉස්කෝලෙ ටීචර් මාව එක්කන් කරන් ගිහින් ළමයින්ට කතා කරන්න කිව්ව. ආයෙ ආවොත් අනිවාරෙන්ම ඉස්කෝලෙ පැත්තෙ එන්නත් කිව්ව. මං අද ඉස්කෝලෙටම ගිහින් මගෙ යළුවන්වත් අදුන්නල දීල කතා කළාට හිනාවුණා ඇරෙන්න ටීචර්ගෙන් වෙන කිසිම ප‍්‍රතිචාරයක් ලැබුන් නෑ. ගිය පාර මං එද්දි සිංදු කිය කිය, ළමයි එක්ක සෙල්ලම් කර කර ඉගැන්නුව ඇය අද පුටුව උඩට වෙලා පාඩම කියවනව.

මගෙ යාළුවො දෙන්න අපහු එන ගමනම ආවෙ මට බැන බැන. ඒක හරිම සාධාරණයි. සතියක් ගමේ නතර වෙලා ඉන්න ගියපු අපි දවස් තුනෙන් ආපහු ආව. ඇත්තටම ඒ දවස් තුනත් අපි ගෙව්වෙ හරිම අසහනෙන්. ඇත්තටම අපිට දැනුනෙ මළවුන් මැද්දෙ ජීවත් වෙනව වගේ හැගීමක්. අපි ගමට ආපු එක වගේම ගිය එකත් කාටවත් අදාල වුණේ නැහැ. මාමනම් නිකන් නමට වගේ අපිව ඇරලවන්න ටික දුරක් මගටත් ආව. ගිය පාර වගේ උස්සගෙන යන්න බැරි තරම් බඩු ගොඩවල් යද්දි ගමේ මිනිස්සු ගෙනත් දුන්නෙ නෑ. මං ආයෙ එනකම්ම පැය ගාණක් කල්පනා කළේ ඒ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ කියල. ටවුමට ආවට පස්සෙ ටවුමෙ පොඞ්ඩක් අපි ඇවිද්ද එතනදි අපි ගමට ගිහින් එන ගමන් කියල කිව්වම එතන හිටපු මනුස්සයෙකුත් කිව්ව ගමේ මිනිස්සු දැන් වෙනද වගේ නෙමෙයි හරිම අමුතුයි කියල. ඇත්තටම පොඩි මාමලට මොකක් හරි කියාගන්න බැරි කරදරයක්වත් වෙලාද? මට කීප සැරයක්ම අහන්නම හිතුනත් පස්සෙ අන්තිමට අහන් නැතුව හිටිය. කොහොම හරි කැම්පස් එක ආයෙ පටන් අරන් වැඩ වැඩි වෙද්දි මේ දේවල් මතකයේ පල්ලන් බැස්ස. ඔය අතර දවසක් මගෙ අර යාලූවො දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ පෙම්වතිය මාව හොයන් ඇවිත් අඩ අඩ කියන්න ගත්තෙ මගෙ යාලූව දැන් ගොඩක් වෙනස් වෙලා හරියට කතා කරන්නෙවත් නෑ කියල. එතකොටයි මට කල්පනා වෙන්න ගත්තෙ ඒ මනුස්සය අපි එක්කත් දැන් එහෙමයි කියල. ළගදි ඩ‍්‍රාමා එකක් බලන්න යන්න එන්න කිව්වම වෙනද ඒවට අපිවත් ඇදගෙන දුවන මනුස්සය මහන්සියි කියල හොස්ටල් එකට වෙලා හිටිය. මගෙ යාලූව විතරක් නෙමෙයි එයාගෙ රූම් එකේ සෙට් එකම දැන් වැඩි කතා බහක් නෑ වෙනම ලයින් එකක් දෙන්නෙ කියල කැම්පස් එකේ තැන තැන කතා කරන්න ගනිද්දියි මට පොඩි මාමලගෙ ගම මතක්වුණේ. මෙතන මොකක් හරි අවුලක් තියෙනව.
⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆

කැම්පස් එකේ ළමයින්ගෙ හැසිරීම අසාමාන්‍ය විදිහට වෙනස් වෙලා කියල අපිට පරීක්ෂා කරන්න ආව. වෙනද වගේ කැම්පස් එකේ අරගල මොකුත් තිබ්බෙ නෑ. කලා උළෙලවල් වගේ දේවල්, තැන තැන පෙම් සුව විදින පෙම්වතුන් මේ හැමදේම අඩුවෙන්න ගත්ත. මේ අසාමාන්‍යකම ටික කාලයක් යද්දි රටේ තැනින් තැන මතුවෙන්න ගත්ත. ඒ හැම තැනක්ම මොන විදිහකින් හරි කැම්පස් එකේ කාට හරි සම්බන්ධ වෙලා තිබුණ. ඒක වසංගතයක් ලෙඬේ මොකක්ද කියලවත් අපිට තේරෙන්නෙ නැති. අපේ පරීක්ෂණ වලට රජය දිගටම මැදිහත්වුණා. ඒව කෙළින්ම රජයේ භාරයට ගත්තා. ඈත ගමක මිනිස්සු හදුනා නොගත් මොළේ ඉදිමීමේ රෝගයකින් මැරෙන්න ගන්නවත් එක්කම හැමදෙයක්ම එළිවෙන්න ගත්ත. ඇත්තටම මොළය ඉදිමෙනව කිව්වට ඒක මොළේ කුණු වෙනව කිව්වොත් හරි. ඊළගට කැම්පස් එකේ ළමයිනුත් ඒ ලෙඩෙන්ම මැරෙන්න ගන්නවත් එක්කම රටම අසහනයට පත්වුණා. රජයේ රහසිගත පරීක්ෂණාගාර වලට ඒක නවත්තන්න බැරි වෙද්දි ආපහු අපිව මේ වැඩ වලට සම්බන්ධ කරගත්ත. මුළින් අපිට හරියටම තොරතුරු නොදී අපි ලවා වැඩකරගන්න හැදුවත්, ඒ දේවල් හංගන් ඉන්න බැරිවුණා වැඩි දවසක්. අන්තිමට ඒ යක්ෂයාගේ පරීක්ෂණය එළිවුණා.
පාලකයන්ට අවශ්‍යය වෙනවා මිනිස්සුන්ව තමන්ට ඕනෙ විදිහට පාලනය කරගන්න. ඒත් ආර්ථික අර්බුද එද්දි මානව සමාජය එහි හරයන්ගෙන් අභාවයට යද්දි මිනිස්සු ඒවට විරුද්ධව නැගී සිටින එක වළක්වන්න බැරිවෙනව. පොළිසිය, උසාවිය, ජනමාධ්‍ය මේ විදිහට පාලකයන්ට තියෙන හැම ආයුධයක්ම පාවිච්චි කළාට පස්සෙත් අර්බුදයේ උච්චතම නිමේෂයන් වලදි මිනිස්සුන්ගේ මේ නැගිටීම් නවත්තන්න ඔවුන්ට බැරි වෙනව. ඒකට ඔවුන්ට සාම්ප‍්‍රදායික උත්තර වලට වඩා වෙනස් උත්තරයක් ඕනෙ වෙනව. ඒකට ඔවුන් හොයාගන්න ආයුධය පනුවො. පනුවො කිව්වට ඇත්තටම ක්ෂුද්‍ර ජීවියෙක් මොළයෙ ජීවත්වෙන. උන් ජීවත්වෙන්නෙ මොළයෙ නියුරෝන වල ප‍්‍රබල ආවේග වලින් නිපදවෙන ශක්තිය උරාගෙන. ඒකෙන් මිනිස්සුන්ට ආදරය, සහෝදරකම් වගේ ප‍්‍රබල මානවීය හැගීම් නැතිවෙලා යනව. නැතිවෙලා යනව කිව්වට ඒව ඇතිවෙනව ඒත් ඒ ආවේගයන් අර ක්ෂුද්‍ර ජීවීන් උරාගන්නව. එතකොට අපිට ඒ හැගීම් දැනෙන් නෑ. ඒ අය පරීක්ෂණයට යොදාගන්නෙ සමාජෙන් හුදෙකලා වෙලා ඉන්න ඈත පිටිසර ගමක්. ඒ පරීක්ෂණය සාර්ථකව අවසානයට ළංවෙමින් තියෙනව ඒ ගමට හදිස්සියෙම නිවාඩුවකට කැම්පස් එකේ ළමයි වගයක් එනකන්.

ඒ රෝගය මිනිහෙක්ගෙන් තවත් මිනිහෙක්ට පැතිරෙන්නෙ නැති විදිහටයි හදල තිබිල තියෙන්නෙ. ඒත් අර ආපු ළමයි අතරින් කෙනෙක්ගෙ ජාන සැකැස්මෙ මොකක් හෝ වෙනසක් නිසා ඔහු මේ රෝගය මිනිසෙක්ගෙන් බෝවුණු පළවෙනි රෝගිය වෙනව විතරක් නෙමෙයි, එයාගෙ ශරීරය ඇතුළෙ මේ ක්ෂුද්‍ර ජීවිය වර්ධනය වෙනව මිනිහෙක්ගෙන් තවත් මිනිහෙක්ට පැතිරෙන්න පුලූවන් විදිහට. ඒකයි කැම්පස් එක ආශ‍්‍රයෙන් මේ ලෙඬේ හැම තැනම පැතිරෙන්න ගන්නෙ. ඔය අතර පරීක්ෂකයො නොහිතපු තවත් දෙයක් වෙනව. ඒ මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ කි‍්‍රයාකාරීත්වය හින්ද ටිකෙන් ටික මොළයේ කි‍්‍රයාකාරීත්වය නතර වෙන්න ගන්නව. සරළව මොළය මිය යනව. අන්තිමට ඒ භයානක පරීක්ෂණය මානව ඛේදවාචකයක් වෙනව. මේ ගතවෙන තත්පරේදිත් අපි ඒක වළක්වන්න ක‍්‍රම හොයනව. දැනට අපිට නිරෝගී අයට ඒක බෝවෙන එක වළක්ව ගන්න ක‍්‍රමයක් තියෙනව. රෝගය වැළදුනු අය බේරගන්න ක‍්‍රමයක් තමයි තවම නැත්තෙ. අපිට මේ විද්‍යාගාර ඇතුළෙ ඒකට කොහොම හරි උත්තර හොයාගන්න ලැබෙයි හැබැයි පාලකයන්ටනම් එයාලගෙ ප‍්‍රශ්නෙට අර්බුදයට යන්න දෙනවා ඇරෙන්න උත්තරයක් හොයාගන්න එක ලේසි වෙන එකක් නැහැ.

rivihara 1(රිවිහාර පින්නදුව)

LEAVE A REPLY